දානය සහ ආනිශංස

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී ඇත. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනට එයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනට එයි. සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. මංගල කරුණු 38 ටද දානය ඇතුළත් වී ඇත.

දස රාජ ධර්ම වලටද දානය ඇතුළත් වී ඇත. වෙසක් පොසොන් වැනි බෞද්ධයන්ගේ අතිශය වැදගත් පසළොස්වක පෝය දිනයන්හි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයකම ගමකම මහ දන්සැල් පැවැත්වීමට බෞද්ධයෝ මහත් රුචියක් දක්වති.

බුදුරජාණන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දානය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කර ඇත.

ආනන්දය, පෞද්ගලික දාන 14 ක් ඇත. ආනිශංස ලැබෙන පිළිවෙළින් එය පහත දැක්වෙයි.

1. තථාගතයන් වහන්සේට දෙනු ලබන දානය

2. පසේ බුදුන් වහන්සේට දෙනු ලබන දානය

3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දෙනු ලබන දානය

4. රහත්වීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන අර්හත් මාර්ගයට පත් අයට දෙන දානය

5. අනාගාමී ඵලයට පත් අයට දෙන දානය

6. අනාගාමී මාර්ගයට පත් වූ අයට දෙන දානය

7. සකෘදාගාමි ඵලයට පත් වූ අයට දෙන දානය

8. සකෘදාගාමී මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය

9. සෝවාන් ඵලයට පත් වූ අයට දෙන දානය

10. සෝවාන් මාර්ගයේ ගමන් කරන අයට දෙන දානය

11. කාමයන්ගෙන් වෙන්ව තවුස්දම් රකින තවුසන්ට දෙන දානය

12. සිල්වත්ව සිටින තෙරුවන් සරණ නොගිය පන්සිල් සුරකින අයට දෙන දානය

13. තෙරුවන් සරණ නොගිය පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය

14. තිරිසන් සතුන්ට දෙන දානය

බුදුරජාණන් වහන්සේට දෙන දානයෙ ආනිසංස ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. මෙවැනිම විස්තරයක් වේලාම සූත්‍රයේද සඳහන් වෙයි.

සංඝයා වහන්සේට දෙන දාන 7 ක් පිළිබඳ විස්තර එහි සඳහන් වෙයි.

1. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානය

2. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු භික්ෂු භික්ෂුණීන් වහන්සේට දෙන දානය

3. භික්ෂූන් වහන්සේට දෙන දානය

4. භික්ෂුණීන් වහන්සේට දෙන දානය

5. මෙතරම් ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ සහ භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය

6. යම්කිසි භික්ෂු සංඝයා ප්‍රමාණයකට කොට දෙන දානය

7. භික්ෂුණීන් වහන්සේ ප්‍රමාණයකට දෙන දානය.

මේ දාන අතරින් පළමුවන දානය බුදුන් වහන්සේ පිරිනිවන් පෑවද බුදුන් වහන්සේ වෙනුවට සධාතුක කරඬුව සහිතව සිදුකළ හැකිය. මහා සංඝයාට දෙන දානයත්, භික්ෂුන් වහන්සේට දෙන දානයත්, යම්කිසි භික්ෂූන් වහන්සේ ප්‍රමාණ කොට දෙන දානයත් පමණකි, මෙකල දියහැකි වන්නේ.

අනාගත කාලයෙහි සිල් ගුණයෙන් පිරිහුන දුසිල් මහණ පිරිසක් ඇති වෙයි. කාසාව කණ්ඨක නම් එම භික්ෂූන් වහන්සේට දෙන දානයේද ආනිශංස ඉමහත් බව, එම සූත්‍රයෙහි සඳහන් වෙයි.දෙනු ලබන දානය පිරිසුදු විය යුතු ය.

එය ක්‍රම 4 කින් දැක්වෙයි. ඒවා ‘දක්ෂිණ විසුද්ධි’ නමින් හඳුන්වයි.

1. දානය ලබන අය අපිරිසුදුයි. දානය දෙන අය පිරිසුදුයි.

2. දානය ලබන අය පිරිසුදුයි. දෙන අය අපිරිසුදුයි.

3. දන් දෙන අයත්, ලබන අයත් අපිරිසුදුයි

4. දන් දෙන අයත්, ලබන අයත් පිරිසුදුයි.

මේ අනුව පෞද්ගලික දානයට වඩා සාංඝික දානයෙහි ආනිශංස වැඩි ය. ඊට හේතුව එම දානය දෙනු ලබන්නේ භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් කාය සාක්ෂි කොට අතීත, වර්තමාන හා අනාගත යන තුන් කාලයටම අයත් මහා සංඝයා වහන්සේ උදෙසා බැවිනි. වීතරාගී උතුමෙකු විසින් වීතරාගී උතුමකුට දෙන දානය ආමිස දාන අතර උතුම්ම දානය යි. ඊට හේතුව දෙපැත්තම පිරිසුදු වීම යි.

සුජාතාවගේ කිරිපිඬු දානය
දානානිශංස පිළිබඳ සූත්‍ර පිටකය පුරාමත්, විමාන වත්ථු, ථෙර ථෙරී ගාථා, ජාතක කථා, අපදාන පාලි ආදී තැන්වලත් සඳහන් වෙයි.