මොකද්ද මේ දානය කියන්නේ?

එක් කලෙක, භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි කිඹුල්වත් පුරයෙහිවූ නීග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අඵත්වූ වස්ත්‍ර දෙකක් ගෙන භාග්‍යවත්‍තුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට එළඹියාය. එළඹ, භාග්‍යවතුන් වහන්සෙට වැඳ එකත්පසක හුන්නීය. එසේ සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාය.

ස්වාමීනි, මාගේ මේ අඵත්වූ වස්ත්‍ර යුවළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මා විසින්ම කටින ලදි. මා විසින්ම වියන ලදි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ වස්ත්‍ර යුවළ මට අනුකම්පා පිණිස පිළිගන්නා සෙක්වා, යනුවෙන් අයැද සිටියාය. මෙසේ කී කල්හී භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට මෙය වදාළේය. ,

"ගෞතමිය, සංඝයාට දෙව. ඔබ විසින් සංඝයාට දුන් කල්හී, මටද පූජාකරන ලද්දා වන්නේය, එය සංඝයාද පුදනලද්දේ වන්නේය". මහාප්‍රජාපතී ගෞතමිය දෙවනුවද , තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ අයදින්නට විය.

භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියට නැවත ද මෙය වදාළේය. ,
"ගෞතමිය, සංඝයාට දෙව. ඔබ විසින් සංඝයාට දුන් කල්හී, මටද පුදන ලද්දා හා සමාණය, සංඝයාද පුදනලද්දේ වන්නේය"


මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. , "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමියගේ අඵත් වස්ත්‍ර යුවළ පිළිගන්නා සේක්වා. ස්වාමීනි, මහාප්‍රජාපතී ගෞතමීය ඔබ වහන්සේට බොහෝ උපකාර කල තැනැත්තියක් විය. මවගේ සහෝදරිය. අත් පා වැඩූ තැනැත්තීය, පොෂණය කළ තැනැත්තීය, කිරි දුන් තැනැත්තීය. භාග්‍යවතුන් වහන්සේට වැදූ මව කඵරිය කළ කල්හී කිරි පෙව්වාය. ස්වාමීනි, ඔබ වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට බොහෝ උපකාර ඇත්තේක් වවේ.

ස්වාමීනි, ඔබ වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ බුදුන් සරණ කොට ගියාය. ධර්මය සරණ කොට ගියාය. සංඝයා සරණ කොට ගියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පස්පවින් වැලකිණි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේනිසා මහාප්‍රජජාපතී ගෞතමී තොමෝ තුන්රැවන් කෙරේ අචල ප්‍රසාදයෙන් ආය්‍ර්‍යයන් කැමැතිවූ සීලයෙන් යුක්තවූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිසා මහාප්‍රජාපතී ගෞතමී තොමෝ දුක්ඛ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක්ඛ සමුදය සත්‍යයෙහි සැක නැති වූවාය. දුක්ඛ නිරොධ සත්‍යයෙහි සැක නැති වූවාය. දුක නිරුද්ධ කිරීමට පිළිපදින්නාවූ මාර්ග සත්‍යයෙහි සැක නැති වූවාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද මහාප්‍රජාපතී ගෞතමියට උපකාර ඇති සේකැයි, සැලකෙළේය.

ප්‍රති උපකාර කල නොහැකි අය
ආනන්දය එය එසේය, ආනන්දය, එය එසේය. ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් බුදුන් සරණ කොට ගියේ වෙද, ධර්මය සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ආනන්දය, මේ ආචාර්‍යවූ පුද්ගලයාට මේ අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රතිඋපකාර කළ නොහැක්කේයයි, කියමි. එනම, වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ගරු බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩපාතය, සයනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය, යන මොවුන් පිදීමෙන් ප්‍රතිඋපකාර කල නොහැක.


ආනන්දය, යම් පුද්ගලයකු නිසා පුද්ගලයෙක් පස්පවින් වැලෙකුනේ වේද, ආනන්දය, මේ ආර්‍යවූ පුද්ගලයාහට වැඳීමය, දැක හුනස්නෙන් නැගිටීමය, ගරුබුහුමන් කිරීමය, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර දීමෙන් ආදියෙන් අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යූපකාර උපකාරයට උපකාර කළ නොහැකියයි කියමි.

යමි පුද්ගලයකු නිසා පුද්ගලයෙක් බුදුන් කෙරෙහි, අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තවූයේ වේද, ආර්‍යන් කැමැතිවූ සීලයෙන් යුක්තවූයේ වේද, ආනන්දය, මේ තැනැත්තාහට ආචාර්‍යවූ පුද්ගලයාහට එම අතවැසිවූ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර කළ නොහැකියයි කියමි.

පුද්ගලික දාන 14
ආනන්දය, පුද්ගලික දාන දහහතරක් වෙත්.

01)අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ පළමුවන පුද්ගලික දානයයි.
02)පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි.
03)තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි.
04)අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි.
05)අනාගාමි පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි.
06)අනාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි.
07)සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි.
08)සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.
09)සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි.
10)සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි.
11)සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි.
12)පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි.
13)පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි.
14)තිරිසන් ගතවූවකු කෙරෙහි දානය දේද, මේ දහහතරවන පුද්ගලික දානයයි.

ඉහත දානයන්ගේ විපාක
ආනන්දය, ඔවුන් අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.(එනමි සිය ගුණයක ආනිසංශයක් ලැබෙනා බවයි) පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානයදී ලක්‍ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානයදී කෝටිලක්‍ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානයදී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේ සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ? අනාගාමි ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේ අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේ අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද? තථාගත රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්‍යක් සමිබුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස් කියනුම කවරේද?

සාංඝික දාන 07
ආනන්දය, සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත් ?
01)බුදුන් ප්‍රධාන භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා විෂයෙහි
දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි.
02)තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හී උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සංඝික දානයයි.
03)භික්‍ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි.
04)භික්‍ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි.
05)මෙතෙක් භික්‍ෂුහුද භික්‍ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි.
05)මෙතෙක් භික්‍ෂුහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවන සංඝික දානයයි.
06)මෙපමණ භික්‍ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වන සංඝික දානයයි.

කාසාවකණ්ඨ භික්ෂුන් හා සාංඝික දානයම උසස් බව
ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ (නමට පමණක් භික්සුන් යැයි කියන්නාවු), ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නමි දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. ආනන්දය, කිසියමි ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි.

දාන විශුද්ධි 04
ආනන්දය, දාන විසුද්ධීහු සතරක් වෙත්. කවර සතරක්දයත් ආනන්දය,
01)ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවු නමුත් දායකයා කෙරෙන් පිරිසුදු විම වන දානය
02)ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වන නමුත්, දායකයා කෙරෙන් පිරිසිදු නොවන්නාවු දානය
03)දායකයා කෙරෙන් ද පිරිසිදු නොවන්නාවුද, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් ද පිරිසිදු නොවන්නාවු ද දානය,
04)දායකයා කෙරෙනුත් පිරිසිදු වූද, ප්‍රතිග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වු දානය, ලෙස දාන විශුද්ධි හතරක් ඇත.

ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු නොවු නමුත් දායකයා කෙරෙන් පිරිසුදු විම වන දානය මේ ශාසනයෙහි දායකතෙම සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තෙක් වෙයිද, ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෝ වුවත්, ආනන්දය, මෙසේ ආකාරයෙන් දානය දයකයා කෙරෙන් පිරිසිදු වේ.

මේ ශාසනයෙහි දායකතෙම දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝ සිල්වත්වූ යහපත් ස්වභාව ඇත්තාහූ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහී දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.

මේ ශාසනයෙහි දායක තෙමේ ද දුශ්ශීලවූ ලාමකවූ ස්වභාව ඇත්තෙක්වේ. ප්‍රතිග්‍රාහකයෝද දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාහූ වෙත්. ආනන්දය, මෙසේ වනාහී දානය දායකයා කෙරෙහිද පිරිසිදු නොවේ. ප්‍රතිග්‍රාහකයා කෙරෙන්ද පිරිසිදු නොවේ.

මේ ශාසනයෙහි දායක තෙමේ ත් සිලවත් යහපත් ස්වභාව ඇත්තෙක් වේද, ප්‍රතිග්‍රාහකයෝත් සිලවත් යහපත් ස්වභාව ඇත්තාහූ වෙත්ද, ආනන්දය, මෙසේ වනාහි දානය දයකයා කෙරෙනුත් පිරිසිදු වේ. හෙවත් මහත්ඵල වේ. ප්‍රතාග්‍රාහකයා කෙරෙනුත් පිරිසිදු වේ.

ආනන්දය, මොහු වනාහී දාන විසුද්ධීහූ සතරයි, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෲන් වහන්සේ නැවතද මෙසේ වදාළෙය.

දන් දිය යුතු ආකාරය
සිලවත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදු වෙ.

යම් දුශ්ශීලයෙක් අධර්මයෙන් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.

යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දුස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.

යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.

පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිස දාන අතුරෙන් අග්‍රයයි, කියමි.

(මජ්ජිම නිකාය 42. දක්ඛිණවිභංග සූත්‍රය)

ප්‍රිය මිතුරනේ මේ දක්වන ලද්දේ බුදු දහමින් ප්‍රකාශිත දානයේ ස්වරෑපයයි. දැන් කරැණු ඉදිරිපත් කරන කරැණුත් සමඟ මේ ලිපිය අවසන් කරන්නයි සුදානම,

චඡ්චගොත්ත බමුණා හා බුදු රජානන්වහන්සේ අතර සංවාදයක්
භගවත් ගෞතමයානන්වහන්ස, මිනිසුන්ගේ ඇතමෙක් ඔබ වහන්සේ පවසන්නේ යැයි මෙසේ කියයි

"ශ්‍රමණ ගෞතම තෙම 'මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය" කියායි.

ස්වාමිනි ඔබ වහන්සේ එසේ කියන්නේය යන්න සත්‍යක්ද?


වඡ්චය. ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔවුහු අසත්‍යයෙන් දෝෂාරෝපණය කරත්. යමෙක් වනාහි දන් දෙන්නාවූ කෙනෙකු වළක්වාද, ඔහු තුන් දෙනෙකුට අන්තරාය කරන්නෙක් වෙයි. ඔහු තුන් දෙනෙකුගේ මං පහරණ සොරෙක් වැනි වෙයි. කවර තුන් දෙනෙකුගෙන්ද, යත් ඔහු දායකයාගේ පිනට අනතුරු කරන්නෙක් වෙයි. ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නෙක් වෙයි. පළමුකොටම තමා නසන ලද්දෙක් වෙයි. විනාශ කරණ ලද්දෙක් වෙයි.

වඡ්චය මම කියනුයේ මෙසේය. අසූචි මඩවළෙක් හෝ ගම් දොර ගවර වළෙක හෝ යම් ඒ ප්‍රාණීහු වෙත්ද, එහි ඒ සත්ත්‍වයෝ මෙයින් ජීවත් වෙත්වායි, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, වච්ඡුය, මම ඒ හේතුකොට ගෙණද පින් සිදුවන බව කියමි. මනුෂ්‍යවූවෙකුට දුන් කල්හි පින් සිදුවීම ගැන කියනු කිම?

වච්ඡය,එසේ වුවත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි. දුශ්ශීලයාට දෙන ලද්ද එසේ මහත් ඵල ඇත්තේ නොවෙයි. ඒ සිල්වත් තෙමේ ද, අංග පසකින් දුරුවූයේද, අඞග පසකින් යුක්තවූයේද වෙයි.

දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයා තුල දුරැවිය යුතු අංග පස
කාමචිඡන්දය ප්‍රහීණවූයේ වෙයිද,
ව්‍යාපාදය ප්‍රහීණවූයේ වෙයිද,
ථීනමිධය ප්‍රහීණවූයේ වෙයිද,
උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වෙයිද,
විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේද,

දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයා තුල සමන්විත විය යුතු අංග පස
අශෛක්‍ෂවූ ශීල ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්‍ෂවූ සමාධි ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්‍ෂවූ ප්‍රඥා ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්‍ෂවූ විමුක්ති ස්කන්‍ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්‍ෂවූ ප්‍රත්‍යවෙක්‍ෂා ඥාන සමූහයෙන් යුක්තවූයේ වෙයිද,
මෙසේ පඤ්චාඞගයක් ප්‍රහීණ කළාවූ, පඤ්චාඞගයකින් සමන්විතවූ, ක්‍ෂීණාශ්‍රවයන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි" යි වදාළ සේක. (මෙසේ ප්‍රතිග්‍රාහකයන් ලද හැක්කේ බුදු සසුන තුල පමණි)

බුදු සසුනේම දුන් දන මහත් ඵල වන බව හා අනුත්තර වු පින් කෙත
යමි සේ කළුපාට, සුදුපාට, රතුපාට ආදි වශයෙන් ගව රැලක ගවයින් සිටියා වුවද, එහි බර ඉසිලිය හැකිවූ, ශක්ති සමිපන්නවූ, යහපත්වූ, ජවයෙන් යුක්තවූ, දැමුණාවූ ගවයා ශරීර වර්ණය පරීක්ෂා කිරීමෙන් තොරව බර ඉසිලීම සඳහා යොදන්නාක් මෙන් මිනිසුන් අතුරෙහිද ක්‍ෂත්‍රීය හෝ බ්‍රාහ්මණ , ක්ෂුද්‍ර, සැඩොල් , මල් ඉවත ලන හෝ, යම් කිසි ජාතියෙක්හි ධර්යෙහි පිහිටියාවූ, ශීලයෙන් යුක්තවූ, සත්‍යය කියන්නාවූ, පාපයෙහි ලජ්ජා ඇත්තාවූ, ප්‍රහීණ කරණ ලද ජාතිය හා මරණය ඇත්තාවූ, සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍යාව ඇත්තාවූ,බහා තබනලද ස්කන්‍ධාදී බර ඇත්තාවූ, සතර යොගයෙන් බැහැරවූ, සතර මාර්ගයෙන් කරණ ලද කෘත්‍ය ඇත්තාවූ, සසරින් පරතෙරට ගියාවූ, තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන, කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ, මනා පැවතුම් ඇති, දැමුණාවූ පුද්ගලයෙක් උපදීද,රාගාදී අපද්‍රව්‍යන් රහිතවූ එම කෙතෙහි වපුරණ ලද දක්‍ෂිණාව මහත්වූ ඵල ඇත්තක් වෙයි. කෙත නොදන්නාවූ, නුවණ නැත්තාවූ, ක්ශ්‍රේත්‍ර විනිශ්චය නොඇසූ අඥානයෝ මේ සස්නෙන් පිටතද දානයන් දෙත්.සත්පුරුෂයන් වෙත නොඑළඹෙත්.

ප්‍රඥා සම්පන්නවූ, පණ්ඩිතයයි සම්මත කරණ ලද,යම් කෙනෙක් සත්පුරුෂයන් කරා එළඹෙත්ද ඔවුන්ගේ ශ්‍රධාවද සුගතයන් වහන්සේ කෙරෙහි පිහිටා ඇත.ඔවුන් සත්පුරැෂයන් වෙත දන් පිරිනමා දෙව් ලොවටද පැමිණෙත්. මෙ මිනිස් ලෙවහි උතුම් කුලයෙක්හි උපදිත්. පිළිවෙළින් නිර්වාණයටද පැමිණෙත්ය" යි වදාළ සේක.
(අංගුත්තර නිකාය තික නිපාතය වච්ඡගොත්ත සුත්‍රය)

ඉතින් ප්‍රිය මිතුරනේ මෙම ලිපිය කියෙවිවා නමි, දන් දිය යුත්තේ කොතනටද,යන්නත් දන් නොදිය යුතු තැනැක් තැතිබවත් ඔබට වැටහෙනවා ඇති. වැසිකිලි වලේ සිටින පනුවාට දෙනු ලබන දානයෙන්ද පින් සිදුවන කල, අප දන් දීමට කල් බැලිය යුතුද?